Monday, September 26, 2016

වීදි ප්‍රාර්ථනා

හරස් වීදිය - කෙළින් වීදිය
අසල කඩපිල මගේ නැවතුම
රැයද දහවල අව්ව වැස්සද
කම් නොවේ මට මගේ දිවියට

නගන හඬ පාසලේ සීනුව
දෙනෙත පුරවයි කදුලු වැලකින
නමුත් නොසැලෙයි මගේ හදවත
අදිටනින් තව තවත් පිරවෙන

කැදවමින් මා අයෙක් ඔහු වෙත
පවසමින් යම් වැඩක් සවණත
තබයි මුදලක් මා දෙඅත මත
සතුටු හැගුමක් සිතේ පැතිරෙන

දැඩියි හිරු රැස ගත පෙළාලන
ඉසිඹු නැත මට දා නිවන්නට
කැවෙන දෑසින් මඟ බැලූ කල
අපැහැදිලි වේ පෙනෙන මං පෙත

ඇරුණු පාසල , යනෙන සිසු කැළ
තබන පියවර කැටුව මාපිය
දවයි හදවත නුහුරු හැඟුමක්
සිතේ පැනයක් කොහිද මා මව

තෙමෙයි දෙකොපුල වැටෙන කඳුලින්
නින්ද අතරින් රැය පහන් වන
වීදි දරුවෙක් වුවද මා මඟ
නොයමි සිගමන් සවිය ඇත මට

ලබන්නට දිවියේ ජයක් ඇත
හද කොනේ පැතුමක් නොසෙල්වෙන
නොවන්නට පොලොවට බරක් මම
මිහිකතම සනසන දිය බිඳක් වෙමි හෙට

No comments:

Post a Comment